Friday, 16 June 2017 06:54

ඩෙංගු සහ උණ රෝගීන්ගෙන් රෝහල් පිරිලා

Rate this item
(0 votes)

දිවයිනේ ඇතැම් ප්‍රධාන රෝහල් ඩෙංගු රෝගීන්ගෙන් පිරී යාම නිසා මේ වනවිට ඒවායේ ප්‍රතිකාර කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් ගැටළු මතුවී තිබෙනවා.

පවතින තත්ත්වය මත අංගොඩ උණ රෝහලට ඩෙංගු රෝගීන් ඇතුළත් කරගැනීම ඊයේ සිට තාවකාලිකව අත්හිටවුූ බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

රෝහලේ ඇඳන් 180ක් පවතින නමුත් මේ වනවිට ඩෙංගු සහ උණ රෝගීන් 500 කට ආසන්න ප්‍රමාණයක් ප්‍රතිකාර ලබන බව එම ප්‍රකාශකයා සඳහන් කළා.

මේ නිසා එක් ඇඳක රෝගීන් දෙදෙනෙකු හෝ තුන්දෙනෙකු සිටින අතර, ඇතැම් රෝගීන්ට බිම ලැගුම් ගෙන සිටීමට සිදුව ඇති බව සඳහන්.

මීට අමතරව වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වන කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන පෙළේ රෝහල්ද මේ වනවිට ඩෙංගු සහ උණ රෝගීන්ගෙන්  පිරී පවතින බවයි අප කළ සොයා බැලීමකදී අනාවරණය වුණා.

දකුණු කොළඹ ශික්ෂණ රෝහල, මීගමුව මහ රෝහල සහ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල ඇතුළු රෝහල් රැසක ඩෙංගු සහ උණ රෝගීන් විශාල පිරිසක් මේ වනවිට ප්‍රතිකාර ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.

අප මේ පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාරගෙන් විමසීමක් කළ අතර ඔහු ඉල්ලා සිටියේ  අංගොඩ උණ රෝහලට ප්‍රතිකාර ගැනීමට පැමිණෙන වලකින ලෙසයි.

තලංගම රෝහලේ මෙන්ම කොළඹ ජාතික රෝහලේද ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර ගැනීම  සඳහා පහසුකම් ස්ථාපිත කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රකාශ කළා.

පසුගිය වසරේ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 55,150 වන නමුත් මේ වසරේ මේ දක්වා කාලය තුල එම ප්‍රමාණයද ඉක්මවා රෝගීන් වාර්තා වී තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත වලට අනුව මේ වනවිට රෝගීන් 61,844 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

එම සංඛ්‍යාව 13,472ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 8863 දෙනෙකු සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4315 දෙනෙකු ද වාර්තා වී තිබෙනවා.


Source: http://www.24newslanka.com/
 


Read 1986 times Last modified on Friday, 16 June 2017 07:00

Featured Posts

Recent Posts

Show Panel