Print 

article460

ජාතික ඩෙංගු මර්දන ඒකකයට අනුව මේ වසරේ මේ වනවිට රටපුරා ඩෙංගු රෝගීන් 70,000 අධික සංඛ්‍යාවක් වාර්තාවී තිබේ.

එයින් 215 දෙනෙකු මරණයට පත්ව තිබේ.

පළාත් වශයෙන් වැඩිම ඩෙංගු රෝගීන් පිරිස වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි.

අයි.ඩී.එච්. උණ රෝහල හෙවත් ජාතික බෝවන රෝග විද්‍යායතනය කොළඹ දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් සඳහා ප්‍රතිකාර කරන ප්‍රධාන රෝහලකි.

රෝගීන් අධික වීම නිසා සති කිහිපයකට පෙර රෝගීන් ඇතුළත් කර ගැනීම ද නවතා දැමීමට එම රෝහලට සිදුවිය.

එහි රෝගීන්ට ප්‍රතිකාර සිදුවන ආකාරය දැක ගැනීමට බීබීසී සිංහල සේවය එම රෝහලේ සංචාරයක නිරත විය.

"අද මහත්තයෝ රෝගීන් පොඩ්ඩක් අඩුයි. ඊයේ එන්න තිබ්බේ, පහුගිය සතිවලට වඩා පොඩ්ඩක් අඩුයි ඒත් එන එකේ අඩුවක් නැහැ" රෝහලේ ආරක්ෂක නිලධාරියෙක් රෝහලට ඇතුළුවනවාත් සමග පළ කළේ එවන් අදහසකි.

"ඇඳන් 225, රෝගීන් 700"

ඩෙංගු

රෝහලට ඇතුළුවීම සඳහා සියයකට ආසන්න පිරිසක් පෝලිම් ගැසී සිටියහ.

"මේ රෝහලේ ඇඳවල් තියෙන්නේ 225 ක් විතර ඒත් දැන් ඉන්නවා 700 ක් විතර ප්‍රතිකාර ගනිමින්, ගිය සතියේ 800කට වඩා හිටියා, ඊයෙත් 150 ක් විතර ඇතුළත් කර ගත්තා" රෝගීන් ඇතුළත් කර ගැනීමේ යෙදී සිටින සෞඛ්‍ය නිලධාරියෙකු පැවසීය.

"එක රෝගියෙක් ඇතුළත් කරලා වාට්ටුවට භාර දීල ආයෙත් එනකොට 4 දෙනෙක් ඉන්නවා තව එක්කන් යන්න" එසේ පැවසුවේ රෝහලට අනුයුක්ත කර තිබෙන සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයෙකි.

ඔහු ඇතුළු සිවිල් ආරක්ෂක බලකායේ භටයන් 30 දෙනෙකු දැනට මාස කිහිපයක සිට මෙම රෝහලේ සේවය සඳහා අනුයුක්ත කර තිබේ.

රෝහලේ වාට්ටුවල තිබූ තදබදය යම් තරමකට අඩුවී ඇති බව හෙද හෙදියන් පැවසුවත් තවමත් බොහෝ වාට්ටුවල එක් ඇඳක් උඩ රෝගීන් දෙදෙනෙකු සිටිනු දක්නට ලැබිණි.

"සමහර ඇඳන්වල තුන් දෙනෙක් ඉන්නවා, අද හොඳයි, ඒත් අඩුවක් නැහැ. ඊයෙ රෑ විතරක් 9 දෙනෙක් ඇතුළත් කළා" යනුවෙන් එක් හෙදියක් පැවසුවාය.

වෛද්‍ය උපදෙස්

 
 

ඩෙංගු: වෛද්‍ය උපදෙස්

ඇතැම් රෝගීන් වාට්ටු ඉදිරිපිට බිම වාඩිවී සිටියේ ඔවුන්ට ඇඳක් ලැබෙන තුරුය. ඒ අතරතුර ඇතැමුන් ප්‍රතිකාර අවසන් කර පිටව යනු දක්නට ලැබිණි.

"දැන් හොඳයි, දවස් 5ක් හිටියා, මගේ ඇඳේ තව එක්කෙනක් හිටියා, රෝහලෙන් හොඳට බලාගත්තා" ප්‍රතිකාර ලබා පිටව යන 23 හැවිරිදි කසුන් පැවසීය.

"ගෙදර ගිහිල්ල මුළින්ම කරන්නේ අහල පහළ පිරිසිදු කරන එක තමයි, පුදුම දුකක් මේ සති දෙකේ වින්දේ මේ මදුරුවෙක් නිසා" යනුවෙන් ඔහු කියා සිටියේය.

ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමට අනුව ඉදිරි සති කිහිපයේදී ඩෙංගු රෝගීන් තවත් වැඩි වීමේ අවදානමක් තිබේ.

"දැන් පවතින කඩින් කඩ වැස්‌ස නිසා ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්‌ බලාපොරොත්තු වෙනවා, ඒ නිසා අපි හැමෝම රෝගයට ගොදුරු වීමේ අවදානමක් තිබෙනවා"

කඩින් කඩ ඇතිවන වැස්ස, ඇතැම් ස්ථානවල කසළ ඉවත් කිරීමේ වැඩසටහන් නිසි ලෙස සිදු නොවීම හා ඩෙංගු වයිරසයේ ප්‍රභේදය වෙනස්වීම මෙවර ඩෙංගු රෝගය වැඩිපුර පැතිර යාමට හේතුවී තිබෙන බව ඔහු කියා සිටියේය.

පැරසිටමෝල්

ඩෙංගු

"පැරසිටමෝල් හැර උණට හෝ වේදනාවට කිසිම බෙහෙතක් ගන්න එපා. උණ ඇතිවෙලා පැය 48 ක් ගතවන විට රුධිර පරීක්ෂණයක් ගත යුතුයි. ඒ පරීක්ෂණයේ ප්‍රතිඵල සාමාන්‍ය වුනත් තවත් පැය 24 කින් නැවතත් ඒ පරීක්ෂණය කළ යුතු වෙනවා. මොකද ඒකෙ වෙනස්කම් ඇතිවෙන්න පුළුවන්"

ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමට අනුව ඩෙංගු මරණ සිදු වන්නේ ඉහත කී ක්‍රියාමාර්ග නිසි ලෙස අනුගමනය නොකිරීමෙනි.

"වේදනා නාශක ගැනීමෙන් සංකූලතා ඇතිවෙනවා. අනික් තත්ත්වය තමයි වෛද්‍යවරු රුධිර පරීක්ෂණ ගන්න කියලත් උණ බැහැල ගියා කියල ගෙදරට වෙලා ඉන්නවා, එතකොට තත්ත්වය බරපතළ වෙලා මරණ සිදුවෙනවා" යනුවෙන් වෛද්‍යවරයා රුධිර පරීක්ෂණයේ වැදගත්කම පැහැදිලි කළේය.

දින කිහිපයක් උණ තිබී එය බැස ගියත් ඩෙංගු රෝගය හට ගැනීමට හැකි බව ඔහු පෙන්වා දෙයි.

ඩෙංගු මදුරුවන් දෂ්ට කිරීම බොහෝවිට උදෑසන 06.00 -09.00 ත් අතර හා සවස 03.00 - 06.00 අතර සිදු වුවත් සෙසු වේලාවන්හි හෝ රාත්‍රියේ හොඳින් එළිය තිබෙන ස්ථානවල මේ මදුරුවා සිටිය හැකි බව පෙන්වාදුන් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම නිවාස, කාර්යාල හා පාසල් අවට මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම ඊට විසඳුම බව සඳහන් කරයි.

Article Source- http://www.bbc.com/